top of page

ගුවන්  ගමන්  පාලකවරයෙක්  වෙන්නේ කොහොමද ?

unnamed.jpg
S1.jpg

අද ලිපියෙන් අපි බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකාව තුළ කොහොමද ගුවන් ගමන් පාලක වෘත්තියට පිවිසෙන්නේ කියන එක ගැන ඔබව දැනුවත් කරන්න.

මේ ලිපිය කියවන ඔබට සමහරවිට ඒ සම්බන්ධව යම් යම් අත්දැකීම් ඇති. සමහර විට ඔබ මෑතකදී පැවැත්වුණු තරග විභාග වලටත් සහභාගි වෙලා එහි අවසානය වන තෙක් ම පැමිණි කෙනෙක් වෙන්නත් පුළුවන් නැතිනම් තවම කිසිම අත්දැකීමක් නැති කෙනෙක් වන්නටත් පුලුවන්. ඉතින් අද ලිපිය වෙන්වන්නේ ඔබ සියලු දෙනා වෙනුවෙන්මයි.

කලින් ලිපියෙදි අපි කිව්වා ගුවන් ගමන් පාලක වෘත්තිය කියන්නේ ලෝකයේ තිබෙන වැඩිම මානසික පීඩනයක් සහිත රැකියාවන් අතරින් එකක් කියලා.
එතකොට මේ අධික මානසික පීඩනය සහිත රැකියාවට පිරිස තෝරා ගන්න සම්මුඛ පරීක්ෂණය කොහොම වෙන්න ඕනෙද?

ඔව්, ඔබ හරි. ශ්‍රී ලංකාවේ වර්තමානයේ පැවැත්වෙන උපාධිධාරී තරඟ විභාග වලින් වඩාත්ම අපහසු සහ දීර්ඝතම තරගවිභාග මාලාවක් පැවැත්වෙන්නේ ගුවන් ගමන් පාලක වෘත්තිය සඳහායි.
ඇයි ඒ? ලෝකයේ වැඩිම මානසික පීඩනයක් සහිත රැකියා අතර නිරතුරුවම රැඳෙන මෙම රැකියාව කරන්නනම් ඔබ මානසිකව මෙන්ම ශාරීරිකව ද මනා ලෙස සුදුසුකම් සපුරන්න ඕන.

තවත් වැදගත් කරුණක් සඳහන් කරන්නම ඕන ඒක තමයි දුර, වේගය, කාලය සම්බන්ධව ඔබ සිදුකරන ගණනය කිරීම් ඉතාමත්ම කෙටි කාලයක් තුළදී ත්‍රිමාණ අවකාශය තුළ සජීවී අවස්ථාවේ භාවිත කිරීමේ නිසඟ හැකියාව ඔබ තුළ තිබිය යුතුමයි.මේ වගේ විවිධ අභිමතාර්ථ වලින් සැකසුණු අභියෝගතා විභාග කඩයිම් හතක් ඔබ මූලිකව පසු කළ යුතු වෙනවා. ඉන් අවසානයේ ඔබට ශාරීරික වෛද්‍ය පරීක්ෂණයකටත් අවසානයේ රාජ්‍ය බුද්ධි ඒකකයේ ආරක්ෂක තත්ත්ව පරීක්ෂාවකටත් ලක්විය යුතු වෙනවා. මේ සියලු කඩයිම් ජයගත් පසු තමයි ඔබට ගුවන් ගමන් පාලක වෘත්තිකයෙක් විදිහට පුහුණුව ඇරඹෙන්නේ.

ප්‍රථමයෙන්ම ගුවන් ගමන් පාලක වෘත්තිය සඳහා අයදුම් කිරීමට නම් ඔබ ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්ව විද්‍යාලයකින් ගණිත, භෞතික විද්‍යා, තොරතුරු තාක්ෂණ, පරිගණක තාක්ෂණ, කාළගුණ විද්‍යා, සංඛ්‍යාන විද්‍යා උපාධියක් හෝ ගුවන් ගමන් ප්‍රවාහනය ට සම්බන්ධ උපාධියක් සම්පූර්ණ කළ යුතු වෙනවා. එවගේම අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේදී හෝ London OL විභාගයේ දී ඉංග්‍රීසි විෂය සඳහා විශිෂ්ට සාමාර්ථයක් ලබා ගත යුතු වෙනවා.

ලැබෙන අයදුම්පත් සළකා බලලා වඩාත්ම සුදුසු අයදුම්කරුවන්ව සීමිත තරග විභාගය සඳහා යොමු කරවනවා. එහිදී ඔබ මුහුණ දෙන තරග විභාග පහත ආකාරයට හඳුන්වා දෙන්න පුළුවන්.

1. කෙටිකාලීන මතක පරික්ෂාව (Short Term Memory Test)
පින්තූරයක් දෙස තත්පර දහයක් පමණ කාලයක් බලා සිටීමට සලස්වා ඒ ආශ්‍රිත ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම.

2. රටා හදුනා ගැනීම හා තර්කනය (Pattern Recognition and Logical Thinking)
විවිධ හැඩතල, රටා ආශ්‍රිත ප්‍රශ්න සහ ඒවා කිහිපයක් සම්බන්ධ කොට අසන ප්‍රශ්න වලට පිළිතුරු සැපයීම.
3. සංඛ්‍යාත්මක ගණනය කිරීම (Numerical Calculation)
එකතු කිරීම, අඩු කිරීම, වැඩි කිරීම, බෙදීම ආදී මූලික ගණිත ක්‍රම භාවිතයෙන් ගැටලු විසඳීම.

4. බහු කාර්ය තාවය සඳහා පරීක්ෂාව (Interrupt Test)
දුර, වේගය, කාලය සම්බන්ධ ගැටලුවක් විසඳන අතර තුර පසුබිමෙන් අසන තවත් ප්‍රශ්නයකට ත් නිවැරදි පිළිතුර ලබා දීම.

5. ඉංග්‍රීසි වචන උච්චාරණය හා සන්නිවේදන පරීක්ෂාව (Voice Test)
දෙනලද ඉංග්‍රීසි ජේදයක් නිවැරදිව, පැහැදිලිව, ක්‍රමාණුකූලව, ඉදිරිපත් කිරීම.

6. ඉංග්‍රීසි විභාගය (English Test)
සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම පරීක්ෂාව.

7. සභිකයන් කිහිප දෙනකුගෙන් සමන්විත මණ්ඩලයක් ඉදිරියේ දී පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණය. (Panel Interview)
ගුවන් තොටුපල සහ ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමේ ඉහළම නිලධාරීන් ගෙන් සමන්විත මණ්ඩලයක් මගින් විධිමත් සම්මුඛ පරීක්ෂණයකට බඳුන් කිරීම.

ඉහත සියල්ල සාර්ථකව අවසන් කළ ඔබට ඊළඟට තිබෙන්නේ ශාරීරික සෞඛ්‍යය පරීක්ෂණය යි.මෙහිදී ඔබේ පෙනීම, වර්ණාන්ධතාවය සහ විවිධ අක්ෂි දෝෂ ආශ්‍රිත පරීක්ෂණ, ශ්‍රවණය සහ ශ්‍රවණ දෝෂ ආශ්‍රිත පරීක්ෂණ සහ අනෙකුත් ශාරීරික තත්වයන් ( අධිරුධිර පීඩනය, දියවැඩියාව ආදී තත්ත්වයන්) සඳහා පරීක්ෂණ 20කට පමණ ඔබට මුහුණ දිය යුතු වෙනවා.

ඔබ මේ සියල්ල සාර්ථකව සමත් වුවහොත් සහ ඔබ ගුවන් ගමන් පාලන වෘත්තියට එකතු වීමට සූදානම් නම් රාජ්‍ය බුද්ධි ඒකකය මගින් ඔබ පිළිබඳ පූර්ණ අධීක්ෂණයක් කරනු ලබනවා.

ඉතින් ඔබ මේ සියලු කඩඉම ජය ගත හොත්.......

සුභ පැතුම්......... ඔබ දැන් පුහුණු ගුවන් ගමන් පාලක වරයකු හෝ ගුවන් ගමන් පාලක වරියක ලෙස ඉතාමත්ම විධිමත් ලෙස පුහුණු වීමට සුදුසුකම් ලබනවා.
දැන් ඔබව යොමු කරනවා සිවිල් ගුවන් සේවා පුහුණු මධ්‍යස්ථානය වෙත(CATC). මෙතැනදී ඔබ ට මාස තුනක කාලයක් සෛධාන්තික විෂය කරුණු උගන්වනවා. මෙහිදී
1. Air Law (ගුවන් නීතිය)
2. Air Traffic Services ( ගුවන් ගමනාගමන සේවා)
3. Communications ( සන්නිවේදන විධි)
4. Flight Navigation and Navigational Aids ( පියාසර යාත්‍රණය සහ යාත්‍රාකරණ ආධාරක)
5. Aerodrome and Ground Aids ( ගගන යාත්‍රාංගණ සහ භූමි ආධාරක)
6. Meteorology ( කාලගුණ විද්‍යාව )
7. Aerodrome Control Procedures ( ගගන යාත්‍රාංගණ පාලන ක්‍රියාපටිපාටිය )
8. General Knowledge ( සාමාන්‍ය බුද්ධිය )
9. Human Performance and Limitations ( මානව ක්‍රියාකාරීත්වය සහ එහි සීමාවන් )
යන විෂයයන් යටතේ ඔබට දැනුම ලබා දෙනවා.

ඉන්පසු ඔබ තවත් මාස තුනක කාලයක් Air Traffic Control Simulator එකක ප්‍රායෝගික පුහුණුව ලැබිය යුතුයි. ලෝකයේ තිබෙන ඉහළම තාක්ෂණයෙන් සමන්විත Simulator එකක් ශ්‍රී ලංකාව සතු වෙනවා. මෙම Simulator ය මගින් කටුනායක, රත්මලාන,මත්තල, මඩකලපුව හා පලාලි යන ගුවන් තොටුපලවල් වල ගුවන් ගමන් පාලන කුළුණේ සිදුවන ක්‍රියා දාමය සජීවී ලෙසින් අත්දැකීමට ඔබට හැකිවෙනවා. මීට අමතරව ගුවන් ගමන් පාලනය සඳහා දැනට තිබෙන ඕනෑම පාඨමාලාවක් මෙම Simulator ය මගින් හැදෑරීමේ හැකියාව තිබෙනවා. Cross Runways, Radar, Non Radar ආදී විවිධ පාලන විධි ඉගෙන ගැනීමට මෙය ඉතා වැදගත් කාර්යයක් ඉටු කරනවා. 

ඉන්පසු ඔබට ඉහත විෂය පිළිබඳ ප්‍රශ්ණ පත්තර 9 කටත් Simulator යේ දී ප්‍රායෝගික පරීක්ෂණයකටත් මුහුණ දීමට සිදු වෙනවා. මේ සියලු විභාග පැවැත්වෙන්නේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේදී යි. ඉතින් ඔබ එයින් සමත් වුණා ට පස්සේ ඔබව කටුනායක හෝ රත්මලාන ගුවන් තොටුපලේ දී සුදුසුකම්ලත්, ගුවන් ගමන් පාලන බලපත්‍රය සහිත අධික්ෂක වරයෙක් යටතේ පැය 180ක සජීවී ප්‍රායෝගික පුහුණුව සම්පූර්ණ කළ යුතුයි.
පුහුණු කාලය අතරතුරදී ඔබ අදාල ගුවන් ගමන් පාලන මධ්‍යස්ථානයේ ප්‍රධානියා විසින් පවත්වන පූර්ව පරීක්ෂණ තුනකට පමණත් මුහුණ දෙන්න ඕන. ඔබ එම පැය 180 සම්පූර්ණ කළාට පස්සේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධික්ෂණ නිලධාරීන් ඉදිරියේ සජීවී Air Traffic Controlling පරීක්ෂණයකට මුහුණ දිය යුතුයි. එය සමත් වුනොත් ඔබට වසරක කාලයකට සේවය කිරිමට සිවිල් ගුවන් සේවා අධිකාරිය මගින් පිරිනමන ගුවන් ගමන් පාලන බලපත්‍රය ලැබෙනවා.
තවද ඔබට නැවත ඉංග්‍රීසි ප්‍රවිණතා වර්ගීකරණ පරීක්ෂණයකට මුහුණ දිය යුතුයි එහිදී ඔබේ ඉංග්‍රීසි ප්‍රවීණතා මට්ටම අනුව නැවත වසර 4 කින් හෝ වසර 5 කින් ඉංග්‍රීසි ප්‍රවීණතා මට්ටම අලුත් කිරීමට හෝ ඉංග්‍රීසි ප්‍රවිණතාව විභාගයෙන් ඉහළම ලකුණු මට්ටමක් ලබා ගතහොත් නැවත ඉංග්‍රීසි ප්‍රවීණතා විභාග වලට පෙනී නොසිටීමට ත් ඔබ සුදුසුකම් ලබනවා.

සුභ පැතුම්.... ! ඔබ දැන් සිවිල් ගුවන් සේවා අධිකාරියේ බලපත්‍රලාභී ගුවන් ගමන් පාලක වරයෙක් ලෙස හෝ ගුවන් ගමන් පාලක වරියක ලෙස සේවය කිරීමට සම්පූර්ණයෙන්ම සුදුසුකම් ලබනවා.

මතක තබා ගන්න වසරක් පාසා සිදු කළ යුතු බලපත්‍රය අලුත් කිරීමේ පරීක්ෂණයේදී හෝ වසර දෙකකට වරක් පැවැත්වෙන රාජ්‍ය බුද්ධි තොරතුරු ඒකකයෙන් සිදු කරන පරීක්ෂණයේදී හෝ වසර 4 ක ට වරක් පැවැත්වෙන සෞඛ්‍ය පරීක්ෂණයෙන් ඔබ අසමත් වූවොත් හෝ ඔබ අතින් සිදුවන වැරදීමකින් ඔබගේ ගුවන් ගමන් පාලන බලපත්‍රය අහෝසි වී යන්න පුළුවන්. මතකනේ අපි ගිය සතියේ කිව්වා Zero Error - Under Pressure කියලා.

බලාගෙන ගියාම වැඩේ පොඩ්ඩක් විතර අමාරුයි වගේ නේද. ඒත් පසුබට වෙන්න එපා. අපි දන්නවා මේක තමයි ගොඩක් දෙනෙක්ගේ සිහින වෘත්තිය. ඉතින් ඔබේ සිහින හඹායන්න. මේ වෘත්තියේදී හැමදාම ඔබට අත් දකින්න ලැබෙන්නේ අලුත් දෙවල්. ඔබ අවුරුදු විස්සක් රාජකාරි කළත්, ඒ හැමදාම ඔබට අත්දකින්න ලැබෙන්නේ එකිනෙකට වෙනස් අලුත්ම තත්ත්වයන්. මොකද අද දවසේ ඔබ පාලනය කරන ගුවන් යානා වල හැසිරීමට වඩා හෙට දිනයේ හැසිරීම වෙනස්. වෙනස් කාලගුණික තත්ව, වෙනස් දේශපාලන තත්ව වෙනස් පුද්ගල මානසික තත්ව ආදී බොහෝ සාධකයන් නිසා මේ රාජකාරිය හැමදාමත් එකිනෙකට වෙනස්.

ඉතින් ඉදිරියේදී මේ සුන්දර, ත්‍රාසජනක, අභියෝගාත්මක වෘත්තිය ගැන තවදුරටත් දැනගන්න අප සමග එකතු වෙන්න කියලා ඔබ සැමට ඉතාමත් ආදරයෙන් ඉල්ලා සිටිනවා.

ඔබට ජය.

By : Navindu Weerakoon

© 2021 by Ceylon Pilot.

      Hosted with Wix.com

  • Facebook Clean
  • Twitter Clean
  • CeylonPilot
bottom of page