top of page

පයිලට් කෙනෙක් වෙන්නෙ කොහොමද ?

Pilot කෙනෙක් වීම සඳහා සම්පූර්ණ කළ යුතු බලපත්‍ර කිහිපයක් ඇත. ඒවා PPL, CPL සහ ATPL ලෙස හඳුන්වයි. ඒවා පිළිබඳව වැඩි විස්තර පහතින් දක්වා ඇත. මෙම බලපත්‍ර ලබාගැනීමට අදාළ පුහුණුව ආරම්භ කිරීමට පෙර ඔබ කළයුතු කාර්යයන් කිහිපයක් ඇත. ඒවානම්,

  • සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් වෛද්‍ය සහතිකයක් ලබා ගැනීම.

  • SPL (Student Pilot License) ලබා ගැනීම.

  • NIB clearance ලබා ගැනීම.

ඉහත සඳහන් දෑ කිරීමට ප්‍රථම ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ(CAASL) අනුමත ගුවන් නියමු පාසලක ලියාපදිංචි විය යුතුය.

සිද්ධාන්ත පුහුණුව (Ground training) හා පියාසැරි පුහුණුව (Flying training) සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව ඔබට පළමු බලපත්‍රය ලබා ගත හැක.

ශ්‍රී ලංකාවේදී ඔබ මෙම බලපත්‍ර සම්පූර්ණ කළයුතු අනුපිළිවෙළ නම්, පිළිවෙළින් PPL, frozen ATPL සහ CPL වේ. ලබා ගත යුතු බලපත්‍ර පිළිබඳ කෙටි විස්තරයක් පහතින් දැක්වේ.

(1) Private Pilot License

කෙටියෙන් PPL යනු Private Pilot License යන්නයි. සිංහල භාෂාවෙන් එය පෞද්ගලික ගුවන් නියමු බලපත්‍රය ලෙස හඳුන්වයි. ගුවන් නියමු පුහුණු කාලය තුළදී ලබාගත යුතු පළමුවන බලපත්‍රය මෙයයි. සිද්ධාන්ත පුහුණුව සහ පාසලෙන් පවත්වන විභාග වලින් පසුව සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ඔබව පියාසර පුහුණුව සඳහා යොමු කෙරේ. මෙහිදී ලබාගත යුතු ගුවන් පැය ප්‍රමාණය පහත දැක්වේ.

  • සම්පූර්ණ කළයුතු  අවම මුලු ගුවන් පැය - 40

  • අවම solo ගුවන් පැය                            - 10

  • අවම cross-country ගුවන් පැය             - 05

 

PPL සඳහා අයදුම් කිරීමට ප්‍රථමව සම්පූර්ණ කළ යුතු CAASL මඟින් පවත්වනු ලබන තවත් විභාග දෙකක් ඇත. එනම් RT සහ ELPC යන විභාග දෙකයි.

   RT exam - මෙහිදී ගුවන් යානයේ රේඩියෝ පද්ධතිය මෙහෙයවීම පිළිබඳව දැනුම පරීක්ෂා  
                    කෙරේ.

   ELPC exam - මෙය English Language Proficiency Check යනුවෙන් හඳුන්වයි. මෙමඟින් ගුවන් නියමුවා
                       සතු ඉංග්‍රීසි දැනුම පරීක්ෂාවට ලක් කෙරේ.

අවසානයේ flight test examiner වරයෙකු යටතේ සිදුකරන පරීක්ෂණ පියාසැරියකින් (Flight test) අනතුරුව ඔබට CAASL මඟින් PPL බලපත්‍රය ප්‍රධානය කෙරේ.

(2) Airline Transport Pilot License (Frozen)

මීළඟට අවශ්‍ය වනුයේ ATPL (Airline Transport Pilot License) නම් බලපත්‍රයයි. සිංහල භාෂාවෙන් එය ගුවන් සේවා ප්‍රවාහන ගුවන් නියමු බලපත්‍රය ලෙස හඳුන්වයි. Sri Lankan Airlines අයදුම් කිරීමට අවශ්‍ය වනුයේ frozen ATPL නම් බලපත්‍ර කාණ්ඩයයි. එය ලබා ගැනීමට කළ යුතු වන්නේ විෂය නිර්දේශයේ ඇති විෂයයන් 14කට අදාළ විභාගයයන් සම්පූර්ණ කිරීම පමණි. මෙම විභාගයයන් සඳහා ලියාපදිංචි වීමට PPL ලබාගෙන තිබිය යුතුය. Frozen ATPL ලබා ගැනීමට ගුවන් පැය කිසිවක් සම්පූර්ණ කළයුතු නැත. ගුවන් පැය 1500ක් ලබා ගැනීමෙන් අනතුරුව frozen ATPL බලපත්‍ර කාණ්ඩය, ATPL බලපත්‍රයක් බවට පත්වේ. 

(3) Commercial Pilot License

කෙටියෙන් CPL යනු Commercial Pilot License යන්නයි. සිංහල භාෂාවෙන් එය වාණිජ ගුවන් නියමු බලපත්‍රය ලෙස හඳුන්වයි. Frozen ATPL මඟින් සිද්ධාන්ත පුහුණුව ඔබ ලබා ගෙන ඇති බැවින්, මෙහිදී ඔබට ඍජුවම පියාසර පුහුණුව වෙත යොමුවිය හැක. මෙම බලපත්‍රයට අදාළ පියාසර පුහුණුව අතරතුර ඔබ instrument rating සම්පූර්ණ කරන බැවින් මෙම බලපත්‍රය CPL/IR ලෙස හඳුන්වනු ලැබේ.

මේ සඳහා ලබාගත යුතු ගුවන් පැය ප්‍රමාණය පහත දැක්වේ (PPL හිදී ආවරණය වූ ගුවන් පැය ප්‍රමාණයද ඇතුලුව).

  • සම්පූර්ණ කළයුතු  අවම මුලු ගුවන් පැය - 200

  • අවම solo ගුවන් පැය                            -   70

  • අවම cross-country ගුවන් පැය             -   50

       

     Multi Engine Rating (MER)

කෙටියෙන් MER යනු Multi Engine Rating යන්නයි. එය එන්ජින් දෙකකට වඩා වැඩි ගුවන් යානා පියාසර කිරීම සඳහා ගුවන් නියමුවා විසින් ලබා ගතයුතු සුදුසුකමකි. මෙය වෙනමම බලපත්‍රයක් නොව CPL සඳහා ඇතුළත්වන සුදුසුකමක් පමණි.

අදාළ සුදුසුකම් සියල්ල සම්පූර්ණ කිරීමෙන් පසුව ඔබට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ආධුනික ගුවන් නියමු තනතුර (Cadet Pilot) සඳහා අයදුම් කළ හැක. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු  මෙතනින් ලබා ගත හැක. 

© 2021 by Ceylon Pilot.

      Hosted with Wix.com

  • Facebook Clean
  • Twitter Clean
  • CeylonPilot
bottom of page